Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

Month: July 2017

  • Home
  • /
  • 2017
  • / July
මාධ්‍ය නිදහස හා දේශපාලන පළිගැනීම්

මාධ්‍ය නිදහස හා දේශපාලන පළිගැනීම්

July 11, 2017 0 Comments by Namal Rajapaksa in My Blog

මෙම සතියේදී “කුරහන් සුවඳ” තීරු ලිපිය ආරම්භ කරන විට 1988 ජූලි 10 වැනිදා සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීමක් පිළිබඳව මාහට මතක් කර දීමට එකල මගේ පියාගේ ආරක්ෂාව සඳහා ස්වේච්ඡාවෙන් කටයුතු කළ මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්තව සේවය කරන ගාමිණී හා ප්‍රියන්ත යන මහත්වරු කටයුතු කළහ. 1988 වසරේ අතුරු මැතිවරණය වෙනුවෙන් මගේ පියා රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරමින් සිටින ජූලි 10 අපගේ තංගල්ල කාල්ටන් නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම ඒ අභාග්‍යසම්පන්න සිදුවීමය. මෙම ප්‍රහාරය එල්ල වනවිට මමත්, මගේ මව හා සහෝදරයා වන යෝෂිතද නිවසේ සිටියහ. ඒ වනවිට මගේ වයස අවුරුදු 02කි. යෝෂිත ඉපිදී මාසයක් ගත්ව තිබිණි. එම කාලසීමාවේදී ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා රට පාලනය කරමින් සිටි අතර, එවකට තංගල්ල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කරවිටගේ ධම්මදාස මහතා කටයුතු කරමින් සිටියේය. පසුව ඔහු සියදිවි හානිකර ගත් බවට තොරතුරු වාර්තා විය. අතුරු මැතිවරණය ජූලි 14 වැනිදා පැවැත්විණි.

ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ජනමතය වෙනස් කිරීම සඳහා ප්‍රබල සාධකයක් බවට ෆේස්බුක් සමාජ ජාලය පත්විය. මෙහිදී බොහෝ තීරණාත්මක තීන්දු ගැනීමට ෆේස්බුක් සමාජ ජාලය භාවිත කිරීමට තරුණ තරුණියෝ පෙළඹුණහ. එමෙන්ම අසත්‍ය හෝ වේවා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සහාය දක්වමින් එහිදී විවිධ අදහස් සමාජ මාධ්‍ය අතරින් ප්‍රචාරය විය. යහපාලන ආණ්ඩුව එදා සමාජ මාධ්‍යවලින් වාසි ලබාගත්තේ ඒ අයුරිනි. නමුත් ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගතවන විට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මේ වනවිට ඔවුන්ට වහකදුරු වී තිබේ. ඔවුන් පවසන්නේ සමාජ ජාල හැසිරවීම හරහා පෞද්ගලික ජීවිත පවා අවදානමකට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් එයට යටින් තිබෙන්නා වූ කාරණය වන්නේ සමාජමාධ්‍ය හරහා ආණ්ඩුව නිර්දය වශයෙන් විවේචනය කරමින් තිබීම හා එම විරෝධය මැඬපැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වීමයි.

ඒ අනුව ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීමටනම් සිදුකළ යුත්තේ සමාජ මාධ්‍ය නිහඩ කරවීමත්, විවිධ පනත් ඉදිරිපත් කරමින් සමස්ත මාධ්‍ය නිහඬ කරවීමත්ය. ඒ අනුව මාධ්‍ය නිදහස ගැන කතා කළ ආණ්ඩුව, මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා බලයට පැමිණි ආණ්ඩුව විවිධ පනත් ගෙනැවිත් මේ වනවිට මාධ්‍ය නිදහස ඇහිරීම සඳහා විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටියි. එසේම මහජන රැස්වීම්වලදී පවා මාධ්‍ය විවේචනය කිරීමට ආණ්ඩුව කටයුතු කරයි.

මාධ්‍ය පිළිබඳ හෝ වෙනත් කරුණක් පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමට ජනපතිට හෝ වෙනත් අයෙකුට ඇති අයිතිය පිළිබඳ අපට ගැටලුවක් නැත. මාධ්‍ය විසින් යමෙකු විවේචනය කරයි නම් මාධ්‍ය විවේචනය කිරීමටද අවස්ථාවක් තිබිය යුතුය.

නමුත් මාධ්‍ය නිදහස ගැන කතා කළ පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ වචනයෙන්ම කියනවානම්,”රැහේ එවුන්” විවේචනය කරයි නම් එය ගැටලුවකි.  ආණ්ඩුවට මාධ්‍ය මේ තරම් එපා වීමට ප්‍රධාන කරුණ වන්නේ රට මුහුණපා ඇති සත්‍ය තත්ත්වය පිළිබඳ ජනතාවට නිරන්තරයෙන්ම කරුණු අනාවරණය කිරීමයි. මේ සඳහා හොඳම උදාහරණය නම් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහනායක හිමිවරුන් ඇතුළු රටේ බොහෝ පිරිසක් අවදිවීමයි. විශේෂයෙන්ම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ යෝජනා පිළිබඳ මාධ්‍ය මගින් මෙන්ම සමාජ මාධ්‍ය මගින් විවිධ අවස්ථාවලදී හෙළිදරව් වූ අතර, එය ආණ්ඩුව පිළිබඳ ප්‍රබල විරෝධයක් ඇතිවීමට බලපෑ හේතුවක් විය.

ඉදිරියටත් රට මුහුණදෙන භායානක තත්ත්වයන් පිළිබඳ රටට හෙළිදරව් වීම වැළැක්වීම සඳහා එහි පළමු පියවර ලෙස මාධ්‍ය මර්දනයට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. ඉදිරියේදී රටට ගැටලු ඇතිකරන, රටේ ස්වාධීනත්වයට ගැටලු ඇති කරන පනත් කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ පනත්වල පවතින භයංකර තත්ත්වය ජනතාව අතරට නොයෑම වැළැක්වීමට ගත හැකි පහසුම ක්‍රියාමාර්ගය වන්නේ මාධ්‍ය නිහඬ කරවීමයි.බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රඥප්ති පනත් කෙටුම්පත රජය තාවකාලිකව හෝ හකුළාගත්තේ ඒ සඳහා සමාජ මාධ්‍ය මෙන්ම රටේ ප්‍රධාන මාධ්‍ය හරහා පනත් කෙටුම්පතේ ඇති භයංකර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි.

ජනාධිපතිවරයා වංචා හා දූෂණ පිළිබඳ කතා කිරිමට නැවත වරක් පටන්ගෙන තිබේ. ආණ්ඩුවට එල්ල වන විවේචන ජනතාවට අමතක කරවීම සඳහා ආණ්ඩුවට ඇති එකම විකල්පය වන්නේ රාජපක්ෂවරුන්ට දූෂණ චෝදනා එල්ල කිරීමයි.  ඒ අනුව නැවත වරක් ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම ආරම්භ කර තිබේ. එහි එක් පියවරක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාත් නැවත වරක් බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිසම හමුවට කැඳවීය.

නමුත් බැඳුම්කර වංචාව පිළිබඳ ආණ්ඩුව අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. මෑත කාලයේදී සිදුවූ මහා පරිමාණ හොරකම වන බැඳුම්කර වංචාවට සෘජුව වගකිවයුතු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය මාස 06කට හෝ අත්හිටුවීමට කටයුතු කරන්නේ හොරකම සිදුවී බොහෝ කාලයක් ගතවීමෙන් පසුවය. අවසානයේ හෝ පර්පචුවල් සමාගමේ බලපත්‍රය තාවකාලිකව තහනම් කිරීමට මහ බැංකුව කටයුතු කිරිම පිළිබඳ ප්‍රශංසාවපළ කරමු.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ ළඟ එන පළාත් පාලන මැතිවරණය හරහා වාසියක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරන ආකාරයයි. ඉදිරියේදී රාජපක්ෂවරුන්ට හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවදුරටත් පළිගැනීම්වලට මුහුණදීමට සිදුවනු ඇත. කෙසේ නමුත් මේ සියල්ලකටම මුහුණදීමට අපට දැන් ශක්තිය තිබේ. ඒ ශක්තිය ලබාදී ඇත්තේ අප වටා සිටින ජනතාවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදි කර තිබූ ප්‍රකාශයක් ජනතාව අතර තරමක් ප්‍රචලිත විය. ඒ හොරු ඇල්ලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් මාස තුනකට තමන් යටතට දෙන ලෙසයි. මෙහිදී කරුණු දෙකක් පිළිබඳ ඔබට අදහසක්  ලබාදීමට අදහස් කරමි. ඉන් පළමු කරුණ නම් විධායක ජනපති ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරීමට සිය බලතල භාවිත කළ ජනාධිපතිවරයා පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව තමන් යටතට පවරාගැනිමට කටයුතු නොකරන්නේ මන්ද යන්නයි. එය හුදෙක්ම කතාවට කළ ප්‍රකාශයක් පමණක් බව මෙයින් පැහැදිලි වෙයි.

අනෙක් අතින් ජනාධිපතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ඔවුන් චෝදනා කළේ නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය ඔහුට අවශ්‍ය පරිදි යොදවාගනිමින් පාලනය කරන බවයි. එසේ විවේචන එල්ල කළ මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය තමන් යටතට පවරාගැනීමට ඉල්ලීම් කිරීම තමාගේම ප්‍රතිපත්තිවලට එරෙහිවීමකි.

ලබන සතියේදී යළිත් හමුවෙමු!

ඔබට සුබ අනාගතයක්!

Read More
හම්බන්තොට වරාය විකිණීම හා රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය

හම්බන්තොට වරාය විකිණීම හා රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය

July 1, 2017 0 Comments by Namal Rajapaksa in My Blog

ආණ්ඩුව හම්බන්තොට වරාය කුණුකොල්ලයට විකුණා තිබෙන බව පැහැදිලිය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හම්බන්තොට වරාය ඉදිකිරීමට කටයුතු කළේ අනාගත අවශ්‍යතාවන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසුවය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වරාය ඉදිකිරීමෙන් පසු එය සංවර්ධනය කිරීමටද අදාළ වැඩපිළිවෙළක් සකස් කර තිබිණි. නමුත් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු නව ආණ්ඩුවක පත්වීම හේතුවෙන් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැලසුම ක්‍රියාවට නැංවීමට නොහැකි විය.

වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට ලබාදීමේදී ඉඩම්වල හෝ වරායේ වටිනාකම සත්‍යය ලෙස තක්සේරු කර එය බදු දෙනවා වෙනුවට කර ආණ්ඩුව පවසන්නේ වරාය ඉදිකිරීමට ලබාගත් ණය මුදල පියවීම සඳහා වරාය බදු දීමය.

නමුත් ණය පියවීම සඳහා චීන රජය සමග එකඟතාවකට පැමිණි බව ආණ්ඩුව කිසිදු තැනක හෝ සඳහන් කර නොමැත. මෙම මුදල් මහා භාණ්ඩාගාරය වෙත පැවැරීමට තීරණය කර ඇති බවද සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට තිබූ වටිනාම සම්පතක් විකුණා ලැබෙන මුදල් ආණ්ඩුවේ එදිනෙදා නාස්තිකාර වියදම් පියවා ගැනීමටත්, ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වාහන, නිවාස හා වෙනත් දීමනා වෙනුවෙන් වැය කිරීමටත් වැඩි අවස්ථාවක් තිබේ. මේ අතර මාධ්‍ය මගින් වාර්තා වූයේ පළාත් සභා මන්ත්‍රීන් වෙනුවෙන් තවත් රුපියල් 75,000ක දීමනාවක් රජය මාසිකව ගෙවීමට තීරණය කර ඇති බවයි.

ණය බරින් මිරිකෙන ආර්ථිකයක් තිබේ නම් ආණ්ඩුව මේ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා පළාත් සභා මන්ත්‍රීන් වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ ඇයිදැයි යන්න ගැටලුවක් පවතී. එක් අතකට ආණ්ඩුව ඇති විරෝධය මගහරවා ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදී ඔවුන් ආණ්ඩුව දිශාවට එක්කර ගැනීමට දරනු ලබන ප්‍රයත්නයක්ද වනු ඇත.

මුදල් නොමැති නම් මෙම වැඩපිළිවෙළ සඳහා ආණ්ඩුව රාජ්‍ය සම්පත් හෝ විකුණා මුදල් ලබාගත යුතුය. එහි පළමු අදියර වූයේ හම්බන්තොට වරාය චීනයට පැවරීමට ගත් ක්‍රියාමාර්ගයයි.

හම්බන්තොට වරාය සඳහා ලබාගත් ණය පියවීම 2036 වසර තෙක් ගෙවිය යුතුය. හම්බන්තොට වරාය සංවර්ධනය කළානම්, ලබාගත් ණය එයින්ම ගෙවීමට අවස්ථාවක් තිබිණි. අනෙක් අතින් වරාය චීනයට පැවරීම හරහා ණය මුදල අඩු නොවන්නේ නම් තවදුරටත් ශ්‍රී ලංකාවේ ණය බර වැඩිවීම පමණක් සිදුවනු ඇත.

එමෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු හා ගිවිසුමේ සඳහන් කරුණු අතර පැහැදිලි වෙනසක් තිබේ. කැබිනට් වාර්තාවේ සඳහන් වූ කරුණු ගිවිසුමට ඇතුළත් නොවී ඇත. ඒ හරහා ආණ්ඩුව චීන රජය පමණක් නොව කැබිනට් මණ්ඩලයද නොමග යවා ඇත. අනෙක් අතින් වෘත්තීය සමිති ඇතුළුව සමස්ත ජනතාව නොමග යවා ඇත.

නොබැඳි විදේශ ප්‍රතිපත්තියක සිටි ශ්‍රී ලංකාව චීනය සමග හෝ ඉන්දියාව සමග සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ අපට ගැටලුවක් නොමැත. අපට ඇත්තේ මෙම රටවල් සමග ගිවිසුම් ඇතිකර ගැනීමේදී ශ්‍රී ලංකාවට උචිත වන ආකාරයෙන් ගිවිසුම් ඇතිකර ගැනීමකින් තොරව විවිධ රටවල් හා පුද්ගලයන්ට අවශ්‍ය පරිදි ඔවුන්ව සතුටු කිරීමට තාවකාලික ගිවිසුම්වලට පැමිණීමය.

කේ.පී. සිං නමැති ඉන්දීය දේශපාලන විචරකයෙකු මෙන්ම, රාජ්‍ය සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  පවසා තිබුණේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය  චීනයට දීමට පොරොන්දු වූ විට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට පොරොන්දු වූ බවයි. ඉන් පැහැදිලි වන්නේ චීනය හා ඉන්දියාව අතර පවතින දේශපාලන බල අරගලයේ කොටස්කරුවෙකු බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි. චීනය හා ඉන්දියාවේ ගැටලුවට මැදිහත්ව සිටි අපට අවසානයේදී සිදුව ඇත්තේ රටක් ලෙස ආපස්සට යෑමටය.

මේ අතර හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. නඩුවක් තිබෙන අවස්ථාවක හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම සඳහා ගිවිසුම්ගත වූයේ කෙසේද යන්න ගැටලුවකි. ඒ අනුව මෙම ගිවිසුම් ගත වීම නීත්‍යනුකූල නොවේ.

රටක අණපනත් මගින් පෞද්ගලීකරණය කිරීමට නොහැකි ලෙස සඳහන් වන නාවික ගමනාගමන ක්‍ෂේත්‍රයද වත්මන් ආණ්ඩුව පෞද්ගලීකරණය කර තිබේ. ඒ අනුව මෙම ගිවිසුම්ගත වීම රටේ පවත්නා නීතියට පටහැණිය.

එමෙන්ම රටේ කම්කරු නීතිය අනුව රටක දේපොළක හිමිකාරීත්වය වෙනස් වන්නේ නම්, ඒ සඳහා කම්කරු අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බවට දන්වා තිබේ. වරාය චීනයට පැවැරීමත් සමග එහි කම්කරුවන්ගේ අයිතිය පිළිබඳ අමාත්‍යාංශය බැහැර වන අතර, ඔවුන්ගේ පාලනය චීන සමාගම විසින් සිදුකරනු ඇත. ඒ අනුව ඉදිරියේදී චීන සමාගමට අවශ්‍ය පරිදි සේවකයන් හැසිරවීම සිදුවනු ඇත. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය නම්, සේවකයන් වරාය රාජකාරියෙන්ද ඉවත් කරනු ඇත.

හම්බන්තොට වරාය විකිණීමෙන් ආණ්ඩුව මෙරට විදේශයන්ට විකිණීම සිදුකර තිබේ. ඒ අනුව ඉදිරියේදී බොහෝ ජාතික සම්පත්වල හිමිකාරීත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙනු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මත්තල ගුවන් තොටුපොළ ඉදිරියේදී සංවර්ධනය කරන බවයි. ඒ අනුව විදේශීය පාලනයට යටත් වන රටේ ඊළඟ සම්පත බවට මත්තල පත්වනු ඇත.

Read More

Namal Rajapaksa,
Carlton house, Tangalle, Sri Lanka.

Phone: (+94) 472240332
E-mail: namal@nr.lk

Privacy Policy

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.

Quick Links
  • Become a volunteer
  • Meet Namal
  • Namal's Perspectives
  • Get Involved
  • My Events
  • Photo Gallery
  • Video Gallery
Connect With Namal