සජිත් එක්ක අනුර එකතුවෙලා පෙත්සමක් ගහලා පන්දහස බෙදන එක නතර කළා.
‘සජිත් ප්‍රේමදාස මහත්තයා ඇමැතිකම් කරපු පහුගිය කාලේ යාල වන උද්‍යානයේ ඉන්න සත්තුන්ට වඩා උද්‍යානයට සේවකයන් බඳවා ගත්තා. අනේ ඒ අසරණ මිනිස්සුන්ට නමට රස්සාවක් දුන්නා මිසක් පත්වීම් ස්ථීර කරලා නැහැ. සජිත් රස්සා දෙනවා කියලා රවට්ටපු ඒ මිනිස්සු දැන් උදේ හවස දුක කියාගෙන මම ළඟට එනවා. හම්බන්තොට මිනිස්සුන්ට බොරු රස්සා දීපු සජිත් දැන් ඒ මිනිස්සු අසරණ කරලා කොළඹට පැනගෙන රටටම විහිළු සපයනවා.’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගල්ගමුව සංගප්පාලය ගම්මානයේ පැවති ජනහමුවකදී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කොරෝනාවලින් අසරණ වු මිනිස්සුන්ට මාසෙකට රුපියල් පන්දාහ ගානේ මාස දෙකක් මුදල් දුන්නා. තුන්වෙනි මාසෙටත් රුපියල් පන්දාහක් දෙන්න ජනාධිපතිවරයා සැලසුම් සකස් කරලයි තිබුණේ. නමුත් සජිත් ප්‍රේමදාස අනුර දිසානායක එක්ක එකතුවෙලා මැතිවරණ කොමසාරිස්ට පෙත්සමක් ගහලා තුන්වෙනි පන්දාහ දෙන එක තහනම් කෙරුවා. එහෙම කුහක වැඩ කරපු සජිත් ආණ්ඩුවක් පිහිටුවලා මාසෙකට රුපියල් විසිදහසක් දෙනවලු කියලා රට වටේ කියාගෙන යනවා. ඒ විහිළුවට හිනා වෙනවා මිසක් රටේ ජනතාවට වෙන කරන්න දෙයක් නැහැ.
මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 දි සිරිසේන උන්නැහැට රට භාර දුන්නේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටක් හැටියට. හැබැයි සිරිසේන උන්නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට භාරදීලා ගියේ ලෝකයේ අඩුවෙන්ම දියුණු වෙන රට බවට පත්කරලා. දැන් ඒ රට දියුණු රටක් බවට පත්කරන අභියෝගයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා.
සජිත් ප්‍රේමදාස පහුගිය කාලේ ගෙවල් හදනවා කියලා එකක් කෙරුවා. හුඟක් තැන්වල ගෙවල් හැදුවේ අලිමංකඩවල් හරස් කරලා. එයාට හිතවත් පිරිසක් තෝරාගෙන ණය දුන්නා. දැන් ඒ මිනිස්සු ණය ගෙවාගන්න බැරුව අසරණ තත්ත්වයට පත් වෙලා. තරගෙට උදා ගම්මාන විවෘත කළා මිසක් කිසිම සැලසුමක් තිබුණේ නැහැ. මිනිස්සු ණයකාරයෝ කෙරුවා විතරයි.
පහුගිය කාලේ හදපු හැම උදා ගමකම මූලික පහසුකම් කිසිම දෙයක් නැහැ. වතුර නැහැ, ලයිට් නැහැ. සජිත් උදාගම්මාන කියලා හැදුවේ මිනිස්සු අසරණ කරන අසරණ ගම්මාන.
සජිත් ප්‍රේමදාසට තිබුණ ඡන්ද ටිකත් එයාගේ වටේ ඉන්න ගෝලබාලයෝ ටික නැති කරනවා. කාදිනල්තුමාට අපහාස කරලා එක් කෙනෙක් ඡන්ද ටික නැති කරනකොට අනිත් කෙනා සංඝයා වහන්සේලාට බැණලා ඉතුරු ඡන්ද ටික නැති කරනවා. අගෝස්තු 5 වැනිදායින් පස්සේ සමගි ජන බලවේගය අපේ රටේ ත්‍රීවීල් පක්ෂයක් බවට පත්වෙනවා.”
මහින්ද ,සිරිසේනට දුන්නේ වේගයෙන් දියුණුවෙන රටක්
හැබැයි ගෝඨාභයට දුන්නේ අඩුවෙන්ම දියුණුවෙන රටක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
•ජේ. බණ්ඩාර – ගිරිබාව
මුල් පුවත සදහා : පිවිසෙන්න
Leave a Reply