රටක අභ්‍යන්තර කාරණාවලට වෙනත් රටවල් ඇඟිලි නොගැසිය යුතුයි.
දේශපාලනික වශයෙන් අස්ථාවර නායකයන් දේශපාලනයට ගෙනැවිත්, තමන්ට අවශ්‍ය විදියට මේ රට පාලනය කරන්න පුළුවන් කියලා සමහර රටවල නායකයන් විශ්වාස කරන බවත්, රටක අභ්‍යන්තර කාරණාවලට වෙනත් රටවල් ඇඟිලි නොගැසිය යුතු බව තමා විශ්වාස කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ මුස්ලිම් සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
කුරුණෑගල බ්‍රයිට් බ්‍රාවෝ හෝටලයේ දී පැවති මේ සම්මේලනය කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් තරුණ සම්මේලනය සංවිධාන කර තිබුණි. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිෆාල්, ‘කාන්තා සවිය’ සංවිධානයේ සභාපතිනී ෆෙරෝසා මුසම්මිල්, සබීර් මන්සූර් මහත්ම මහත්මීන් ඇතුළු වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන් සංගමයේ නියෝජිතයෝ ද, තරුණ ව්‍යාපාරිකයෝ ද, සිවිල් සංවිධානයේ තරුණ නියෝජිතයෝ ද මේ සම්මේලනයට සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
මේ රටේ ජනවාර්ගික දේශපාලන පක්ෂ එක් කාලයක දී ඉස්මතු වුණා. දකුණේ ආගම කේන්ද්‍ර කරගෙන දේශපාලන පක්ෂ ඉස්මතු වුණා. උතුරේ ජාතිය කේන්ද්‍ර කරගෙන දේශපාලන පක්ෂ ඉස්මතු වුණා. එතැනින් තමයි අප අතර බෙදීම පටන් ගත්තේ. ඇයි එහෙම දේශපාලන පක්ෂ හැදුවේ කියලා තරුණයන් විදියට ඔබ පොඩ්ඩක් හොයලා බලන්න.
එහෙම දේශපාලන පක්ෂ හදන්න තිබුණ බලවේග මොනවාද? කවුද මේ රටේ තරුණයා දේශපාලනික වශයෙන් බෙදන්න තීන්දු කළේ?
මේ ළඟදී මේ වගේම රැස්වීමකදී මාධ්‍යවේදී සහෝදරයෙක් මගෙන් ඇහුවා මාත් එක්ක රනිල් වික්‍රමසිංහගේ ඩීල් එකක් තිබෙනවද කියලා. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසයි මායි අතර ඩීල් එකක් තිබෙනවාද කියලා. මම කිව්වා එහෙම ඩීල් එකක් නෑ කියලා. මම ඔහුට කීවා දේශපාලනික වශයෙන් අප අතර ඩීල් එකක් නෑ. රනිල් මාව තුන් පාරක් හිරේ දැම්මා. අපේ ආච්චිව, අම්මා සී.අයි.ඩී. එකට අරන් ගියා තාජුඩීන් ඝාතනය කළා කියලා. එහෙම ඩීල් එකක් අප අතරේ තිබුණා නම් මගේ අම්මා සී.අයි.ඩී. එකට ගෙන යයිද?
සජිත් ප්‍රේමදාසත් එහෙමයි. එළිමහනේදී බැන්නාට පාර්ලිමේන්තුවේදී බොහෝම හොඳට හිනා වෙලා කතාබහ කරනවා. එහෙම වුණා කියලා අප අතර ඩීල් එකක් නෑ. හැබැයි එක කාරණයක් තිබෙනවා. සජිතුයි රනිලුයි තරහා වුණාට රනිල් වික්රමසිංහයි සජිත්ගේ තාත්තා රණසිංහ ප්‍රේමදාසයි එකතු වෙලා තමයි මේ රටේ හැට දාහක් තරුණ තරුණියන් මැරුවේ. එදා එහෙම කරන කොට ඒකට ඒ දෙන්නාටම විරුද්ධව කතා කළේ මගේ තාත්තා මහින්ද රාජපක්ෂ විතරයි.
පලස්තීන මිත්‍රත්ව සංවිධානය හැදුවේ මගේ තාත්තා. ඒ සංවිධානයේ මාත් ඉන්නවා. මාත් විශ්වාස කරන දේශපාලනයක් තිබෙනවා. අප හැමෝම නොබැඳි දේශපාලන ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. අප විශ්වාස කරනවා රටක අභ්‍යන්තර කාරණාවලට වෙනත් රටවල් ඇඟිලි නොගැසිය යුතුයි කියලා. එහෙම නම් පලස්තීනය වගේ රටකට තමන්ගේ අයිතිය ලබා දෙන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නමින් පමණයි ඒ රටේ විදේශකයකුගේ නමින් පාරක් නම් කරලා තිබෙන්නේ.
අපේ රටේ වගේම ලෝකයේ දෙවැනි පෙළ දේශපාලන නායකත්වය හසුරුවන්නේ වෙනත් හස්තයන්. අද මැද පෙරදිගට වෙලා තිබෙන තත්ත්වය බැලුවාම ලෝකයේ වැඩියෙන්ම මුදල් උපයන පිරිස ඉන්නේ මැද පෙරදිග. ලිබියාව, ඉරානය වගේ රටවල් ඩොලර්වලින් ඉවත් වෙන්න හදන කොට ඒ රටවල නායකයන් එක පාරටම ත්රස්තවාදීන් බවට පත් වුණා. ඒ රටවල නායකයන් එක පාරටම අතුරුදන් වුණා. ප්රජාතන්ත්රවාදය නෑ කියලා ඇවිත් බලෙන් ඒ රටවල් අල්ලා ගත්තා.
ඉස්සර රටවල් අල්ලා ගත්තේ ගහලා විනාශ කරලා. නමුත් අද රටවල් අල්ලා ගන්නේ ආර්ථිකය නැත්නම් ආගම දහම විනාශ කරලා. ලිබියාවට මේ දෙකම පාවිච්චි කරලා විනාශ කර දැම්මා. මම දකින්නේ 2015ට පෙර අපේ රටෙත් වෙන්න ගියේ ඒ දේයි.
එල්.ටී.ටී.ඊ. එක ඇති වුණේ කොහොමද? රනිල් වික්රමසිංහයි රණසිංහ ප්‍රේමදාසයි එකතු වෙලා දකුණේ මැරුවේ, බටලන්දේ වධකාගාරයේ මැරුවේ දමිළ තරුණයන් නොවේ. සිංහල තරුණයන්. හැබැයි උතුරේ ත්‍රස්තවාදය පරාජය කළේ දකුණේ සිංහල, මුස්ලිම්, දමිළ තරුණයන් එකතු වෙලා. ඒක තමයි ඇත්ත කතාව.
අප එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළාම ඒකට පණ පෙවූ අය අලුතින් ක්‍රමවේද හොයනවා නැවත මේ රට බෙදන්න. ඒකේ ආරම්භය තමයි අන්තවාදය, ජාතිවාදය සමාජයේ වපුරවපු එක. ඒකේ ප්‍රතිඵලය තමයි එල්.ටී.ටී.ඊ. බෝම්බෙන් පතරොමෙන් ඝාතනය කරන්න බැරි වු මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජය කිරීම. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ හිරේ දාන්න උත්සාහ කළා.
මෙහිදී මුස්ලිම් තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ද නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.
කාන්තා සවිය සංවිධානයේ සභාපතිනී ෆෙරෝසා මුසම්මිල් මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.
මුල් පුවත සදහා : පිවිසෙන්න
Leave a Reply