දීර්ඝ ඉතිහාසයක් තිබෙන අපට හම්බන්තොටින් යන්න වුවමනාවක් නෑ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
අවුරුදු සීයක පමණ ඉතිහාසයක් තිබෙන අප තව අවුරුදු පන්සියයකටවත් මේ දිස්ත්‍රික්කයෙන් ඉවත් කරන්න ලේසි නෑ. ඒ නිසා අපට යන්න වුවමනාවකුත් නෑ. යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (26) අම්බලන්තොට පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ දේශපාලන ඉතිහාසය අවුරුදු 100කට එහා දිව යනවා. අපේ පරම්පරාවේ සීයලා දේශපාලනය කළා. මහින්ද රාජපක්ෂ මගේ පියා අවුරුදු 50ක් මේ දිස්ත්‍රික්කයත් එක්ක දේශපාලනය කළා. මම අවුරුදු 10ක් මේ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරනවා.
සජිත් ප්‍රේමදාස මහතා මේ දිස්ත්‍රික්කයෙන් ගියාට අප අවුරුදු සීයක් සිටිය තැන දාලා යන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා ඉඩම් දෙනවා කියලා, කැලෑ සුද්ධ කළා. රැකියා දෙනවා කියලා, තාවකාලික පත්වීම් දුන්නා. ආධාර දෙනවා කියලා, ණය දුන්නා. උසද කොටද බලලා පෝලිම් කර අයදුම්පත් එකතු කළා. අන්තිමට උස කට්ටියත් ගෙදර. මිටි කට්ටියත් ගෙදර. ඒ නිසා ඒ මහතාට ඔබට මුහුණ දෙන්න බැරිව ඇති කියලා මා හිතනවා. එයා හැදූ ගම්මානවලට ගියාම මිනිස්සු එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි අපව අසරණ කළේ කියලා, දෙන්න උත්තර නෑ. රැකියා ගත් තරුණයන් ඇහුවොත් ඇයි අපට මෙහෙම කළේ කියලා, එයාට දෙන්න උත්තර නෑ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්කය අතහැර කොළඹට ගියා.
ඒත් අප ඔබ සමඟ මේ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වගේම සංවර්ධන කටයුතුත් කරගෙන යනවා. අපේ දේශපාලනය උදැල්ලක්, අලවංගුවක්, මෝල් ගහක්, වංගෙඩියක් දී ඡන්දය ගන්න එක නොවෙයි. අපේ දේශපාලනය මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කර ඊළඟ පරම්පරාවට හරියන ලෙස රට ගොඩනඟන එකයි. ඒ අපේ දේශපාලන ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි හම්බන්තොටට වරායක් ආවේ. ගුවන්තොටුපොළක් ආවේ. අධිවේගී මාර්ග ආවේ. අපට හොඳ දේශපාලන දැක්මක් සහ ප්‍රතිපත්තියක් තිබෙන නිසා තමයි එවැනි දැවැන්ත සංවර්ධනයක් ඇති කළේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
Leave a Reply